ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පවත්වන ලද ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැඩසටහන

24 07 2025 - 08:30 AM

ශ්‍රී  ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින්  මෙම  වසරේ   ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තවත් එක් දින වැඩසටහනක්  2025 ජූලි 15 වැනි දින බණ්ඩාරවෙල ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී  සාර්ථකව සංවිධානය කරන  ලදී. මෙම වැඩසටහන  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් මෙහෙයවනු ලබන ගෝලීය ගැහැණු දරුවන් සඳහා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දින වැඩසටහනට සමගාමීව  පවත්වන ලදී .

වාර්ෂිකව අප්‍රේල් මාසයේදී සමරනු ලබන, ගැහැණු  ළමයින් සඳහා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)  දිනයේ දී , විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය (STEM) මෙන්ම  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යන ක්ෂේත්‍රවල ගැහැණු ළමයින්ගේ සහ තරුණියන්ගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කරයි.  " සියලුම දෙනාට ප්‍රවේශ විය හැකි ඩිජිටල් පරිවර්තනය  උදෙසා  ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය " යන 2025 වසරේ  තේමාව  තුළින්  ඩිජිටල් අනාගතයක් ගොඩනැගීම සඳහා තරුණියන් විසින් ඉටු කරන වැදගත්  කාර්යභාරය ගෙන හැර දක්වන  ලදී.

මෙම වැඩසටහන  මොරටුව විශ්ව විද්‍යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ ඩයලොග් ආසියාටා පීඑල්සී යන ආයතනවල විශේෂඥයින් සහ නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ  අන්තර්ක්‍රියාකාරී සැසි සහ ඉදිරිපත් කිරීම් වලින් සමන්විත විය. මෙහිදී සාකච්ඡා කරන ලද ප්‍රධාන මාතෘකා වූයේ:

  • " සියලුම දෙනාට ප්‍රවේශ විය හැකි  ඩිජිටල් පරිවර්තනය උදෙසා ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය: ගුරුවරුන්ගේ භූමිකාව "
  • " ගැහැණු ළමයින් සඳහා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම: අවස්ථා සහ අනාගත අපේක්ෂාවන් "
  • "තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තීය මාර්ග: ඩිජිටල් අන්තර්ගත  ලෝකයක ගැහැණු ළමයින් සඳහා ඇති බාධක ජය ගැනීම"
  • "ඩිජිටල් යුගයේ  දී ළමා ආරක්ෂණය " යන්නයි. 

තරුණ කාන්තාවන් සවිබල ගැන්වීමේදී සහ අනාගත අවස්ථා නිර්මාණය කිරීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම මෙම සාකච්ඡා මගින් අවධාරණය කෙරිණි.

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ   ගුරු ශික්ෂණලාභීන්  සහ කාර්ය මණ්ඩලය ඇතුළුව  මෙම වැඩසටහනට සහභාගී වූ 350 ක් පමණ වූ පිරිස විසින්  , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  මෙන්ම   විද්‍යාව , තාක්ෂණය , ඉන්ජිනේරු විද්‍යාව සහ ගණිතය  අංශවල අවස්ථා, අභියෝග සහ කාන්තාවන්ගේ භූමිකාව පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගත්හ.

සාර්ථක කාන්තා ආදර්ශ චරිත ගෙන හැර දැක්වීම , අනවබෝධතා  ඉවත් කිරීම සහ ප්‍රායෝගික මග පෙන්වීම ලබා දීම මගින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  අධ්‍යාපනය සහ වෘත්තීන් සඳහා වැඩි කාන්තා සහභාගීත්වයක් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, සියලුම දෙනාට ඩිජිටල් තාක්ෂණයන් සහ අවස්ථාවන්ට  සමාන ප්‍රවේශයක් ඇති කිරීම   සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනයට සහ තාක්ෂණික නවෝත්පාදනයට ක්‍රියාකාරීව දායක වීමට තරුණ කාන්තාවන් සවිබලගැන්වීමේ  මුලපිරීම් සඳහා  අඛණ්ඩව සහාය දක්වයි.

පුවත් සහ සිදුවීම්