
දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ කවුන්සිලයේ 27 වන රැස්වීම (SATRC-27) 2026 ඔක්තෝබර් 20 සිට 22 දක්වා ශ්රී ලංකාවේ කොළඹදී පැවැත්විණි. ආසියා-පැසිෆික් විදුලි සංදේශ ප්රජාව (APT) විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමේ සත්කාරකත්වය ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් දරන ලදී. මෙම රැස්වීම සඳහා භෞතිකව මෙන්ම දුරස්ථව ද සහභාගී වීමට අවස්ථාව සලසමින් දෙමුහුන් වැඩසටහනක් ලෙස පැවැත්විණි.
SATRC-27 සමුළුවට දකුණු ආසියානු කලාපයේ විදුලි සංදේශ නියාමන අධිකාරීන්හි ප්රධානීන්, ජ්යෙෂ්ඨ නිලධාරීන්, විදුලි සංදේශ ක්ෂේත්රයේ නියෝජිතයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහභාගී වූහ. මෙම සමුළුවේදී විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයන්ට අදාළ ප්රධාන ප්රතිපත්ති හා නියාමන ප්රවණතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම, කලාපීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සහ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මෙම රැස්වීමේදී SATRC සාමාජික රටවලට පොදුවේ වැදගත් වන ප්රධාන ප්රතිපත්තිමය හා නියාමන ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, SATRC-26 හිදී අනුමත කරන ලද SATRC ක්රියාකාරී සැලැස්මේ X අදියර ක්රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්රගතිය ද සමාලෝචනයට ලක් කරන ලදී. මෙම වැඩසටහනට නියාමන වටමේස සාකච්ඡාවක්, නියාමන අධිකාරීන් හා කර්මාන්ත ක්ෂේත්රය අතර සංවාදයක්, කර්මාන්ත සැසියක් මෙන්ම නියාමන අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වූ සැසි කිහිපයක් ද ඇතුළත් විය.
නියාමන ආයතනවල ප්රධානීන්ට කලාපීය සහයෝගීතාව සඳහා අවශ්ය වන වැදගත් නියාමන කරුණු සම්බන්ධයෙන් සිය අදහස් හුවමාරු කර ගැනීමට නියාමන බලධාරීන්ගේ වටමේස සාකච්ඡාව සුවිශේෂී වේදිකාවක් විය. එමෙන්ම, අනෙකුත් සැසිවාරයන් තුළින් නැගී එන තාක්ෂණයන්, වෙනස් වෙමින් පවතින නියාමන ප්රතිපත්ති, කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනයන් මෙන්ම කලාපය පුරා සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් පරිවර්තනය ප්රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට ද අවස්ථාව උදා විය.
ශ්රී ලංකාව දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ කවුන්සිලයේ (SATRC) ආරම්භක සාමාජික රටක් වන අතර, එම කවුන්සිලය 1997 වර්ෂයේදී ආසියානු පැසිෆික් විදුලි සංදේශ ප්රජාව (APT) සහ ජාත්යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) ආසියානු හා පැසිෆික් කලාපීය කාර්යාලයේ ඒකාබද්ධ
මුලපිරීමක් ලෙස ස්ථාපිත කරන ලදී. APT හි අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන SATRC, අනුබද්ධ සාමාජිකයින්ගේ සක්රීය දායකත්වය ද ඇතිව, දකුණු ආසියානු සාමාජික රටවල් නවයේ විදුලි සංදේශ හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) නියාමන අධිකාරීන් අතර සහයෝගීතාව තහවුරු කිරීමේ වැදගත් කලාපීය වේදිකාවක් ලෙස ක්රියා කරයි. SATRC විසින් සංවිධානය කරනු ලබන රැස්වීම්, වැඩ කණ්ඩායම්, වැඩමුළු, පුහුණු වැඩසටහන් සහ වෙනත් සහයෝගී ක්රියාකාරකම් තුළින් නියාමන අත්දැකීම් හා ප්රශස්ත ක්රමවේද හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසනු ලබයි. තවද, කලාපයේ රටවලට පොදුවේ මුහුණ දීමට සිදුවන අභියෝග හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමට මෙන්ම විදුලි සංදේශ හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයන්හි සංවර්ධනය තවදුරටත් ප්රවර්ධනය කිරීමට ද SATRC වැදගත් දායකත්වයක් ලබා දෙයි.
විදුලි සංදේශ නියාමන ක්ෂේත්රයේ දශක තුනකට ආසන්න කාලයක් පුරා පවතින කලාපීය සහයෝගීතාවයේ ආරම්භය සනිටුහන් කරමින්, පළමු SATRC රැස්වීම 1997 වර්ෂයේදී කොළඹදී පැවැත්විණි. ශ්රී ලංකාව මීට පෙර 2009 වර්ෂයේදී SATRC හි සභාපතිත්වය හෙබවූ අතර, 2026 වර්ෂයේදී දෙවන වරටත් එම වගකීම භාර ගන්නා ලදී. වසර ගණනාවක් පුරා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් SATRC ක්රියාකාරී කණ්ඩායම් රැස්වීම් කිහිපයක් ද සංවිධානය කර පවත්වා ඇති අතර, එමඟින් කවුන්සිලයේ ක්රියාකාරකම් හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එහි අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ.
SATRC-27 රැස්වීම කොළඹදී පැවැත්වීම, කලාපීය විදුලි සංදේශ සහයෝගීතාව සමඟ ශ්රී ලංකාව පවත්වාගෙන යන දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්විය. එමෙන්ම, සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත්, මනා සම්බන්ධතාවයකින් යුත් සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ දකුණු ආසියානු කලාපයක් නිර්මාණය කිරීම හා එහි ඉදිරි ප්රගතිය සඳහා ශ්රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම ද මෙම රැස්වීම තුළින් යළිත් තහවුරු කෙරිණි.
TRCSL සත්කාරකත්වයෙන් දකුණු ආසියානු...
22 10 2026 - 09:00 AM
ශ්රී ලංකාවේ පාසල් අන්තර්ජාල...
14 10 2026 - 12:30 PM
ආරක්ෂිත හා ස්ථායීතාවයෙන් යුත්...
06 10 2026 - 15:52 PM
වෙළඳපල විශ්ලේෂණ වාර්තා කෙටුම්පත්...
05 10 2026 - 18:20 PM