ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ශ්‍රී ලංකාවේ පාසල් අන්තර්ජාල සම්බන්ධතාව අධ්‍යයනයට GIGA පර්යේෂණ කණ්ඩායමක් TRCSL වෙත පැමිණෙයි

14 10 2026 - 12:30 PM

GIGA පර්යේෂණ විද්‍යාගාරයේ පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ සාකච්ඡාවක නිරත විය. මෙම සංචාරය සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පාසල්වල අන්තර්ජාල සම්බන්ධතාවයේ වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා එම කණ්ඩායම විසින් සිදු කරනු ලබන අධ්‍යයනයේ කොටසක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ පාසල් අන්තර්ජාල සම්බන්ධතාවට අදාළ සමස්ත තත්ත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. ඒ යටතේ දැනට පවතින විදුලි සංදේශ යටිතල පහසුකම්, අන්තර්ජාල සම්බන්ධතා සැපයීම සඳහා භාවිත කරන විසඳුම්, ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් සහ දිවයින පුරා පාසල්වල අන්තර්ජාල ප්‍රවේශය පුළුල් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළ අනාගත සැලසුම් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

සාකච්ඡා අතරතුරදී, පාසල් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමේදී මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය, ඒ සඳහා දැනට භාවිත කරනු ලබන තාක්ෂණයන් සහ යටිතල පහසුකම් මෙන්ම විශ්වාසදායක හා තිරසාර අන්තර්ජාල සම්බන්ධතාවක් සැපයීමේදී පැනනගින අභියෝග පිළිබඳව GIGA පර්යේෂණ කණ්ඩායම විසින් TRCSL සහ විදුලි සංදේශ සේවා ක්‍රියාකරුවන් වෙතින් තොරතුරු හා අදහස් විමසන ලදී. එහිදී, අන්තර්ජාල සම්බන්ධතා පහසුකම්වල පවතින අඩුපාඩු හේතුවෙන් ඩිජිටල් ඉගෙනුම් අවස්ථා වෙත ප්‍රවේශ වීමේ සීමාවන්ට මුහුණ දෙන ග්‍රාමීය ප්‍රදේශ සහ ප්‍රමාණවත් සේවා පහසුකම්වලින් ආවරණය නොවන ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තවද, ජාතික උපායමාර්ග, දැනට ක්‍රියාත්මක වන පාසල් සම්බන්ධතා වැඩසටහන්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරියේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදාළ රහස්‍ය නොවන තොරතුරු හුවමාරු කර ගැනීමට ද මෙම සාකච්ඡාව අවස්ථාවක් සලසා දුන්නේය. පාසල් සහ ප්‍රජා මට්ටමින් අන්තර්ජාල සම්බන්ධතා සැපයෙන ආකාරය සහ ඒවායේ ප්‍රතිලාභ අත්විඳින ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මෙන්ම පවතින අඩුපාඩු, අවශ්‍යතා සහ තවදුරටත් වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම ද සාකච්ඡාවල ප්‍රධාන අරමුණු අතර විය.

ශ්‍රී ලංකාව තුළ පාසල් අන්තර්ජාල සම්බන්ධතාව පුළුල් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව GIGA පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරනු ලබන ස්වාධීන ඇගයීමේ කොටසක් ලෙස මෙම සංචාරය පැවැත්විණි. එම අධ්‍යයනයෙන් ලැබෙන සොයාගැනීම් තුළින් දැනුම හුවමාරු කර ගැනීමට සහාය වීම, අඛණ්ඩව වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ අදාළ රාජ්‍ය ආයතන, නියාමන ආයතන, විදුලි සංදේශ සේවා ක්‍රියාකරුවන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් අතර අනාගත සහයෝගීතාව සඳහා පවතින හැකියාවන් ගවේෂණය කිරීම අපේක්ෂා කෙරේ.

මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සහ ප්‍රමාණවත් සේවා පහසුකම් නොලැබෙන ප්‍රදේශවල ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ඩිජිටල් සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් ඉගෙනුම් අවස්ථා සඳහා සාධාරණ හා සමාන ප්‍රවේශයක් තහවුරු කිරීම අරමුණු කරගත් ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අඛණ්ඩව සහාය ලබා දෙයි.

පුවත් සහ සිදුවීම්