ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය -2026

19 05 2026 - 13:46 PM

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සහ ඩිජිටල් පරතරය අවම කිරීම සඳහා අන්තර්ජාලය හා අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයන්ගේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය (WTISD) සෑම වසරකම මැයි 17 වන දින සැමරේ. 2026 වසරේ මෙම දිනය, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU)  ස්ථාපනය කිරීමට  මූලික වූ පළමු ජාත්‍යන්තර විදුලි සංදේශ සම්මුතිය ක්‍රියාත්මක වී වසර 161 ක් සපිරීම සනිටුහන් කරයි.

2026 ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය සැමරීම නිමිත්තෙන්, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ සාමාජික රටවල් “ඩිජිටල් සම්බන්ධතා මඟින් එකිනෙකාට බැඳුණු ජාලගත ලෝකයක ස්ථාවරත්වය ශක්තිමත් කිරීම” යන තේමාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිරිගන්වන ලදී.මෙම තේමාවට අනුව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යතුමා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිකුත් කරන ලද 2026 ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දින විශේෂ පණිවිඩ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පුවත්පත් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.තවද, “ඩිජිටල් සම්බන්ධතා ඔස්සේ බැඳුනු ජාලගත ලෝකයක ස්ථාවරත්වය ශක්තිමත් කිරීම” යන තේමාවට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම වැඩසටහනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරියෙකු විසින් පවත්වන ලද තොරතුරු සැසිද ඇතුළත් වූ අතර, එහිදී තේමාවට අදාළ ක්ෂේත්‍ර සහ වර්තමාන ඩිජිටල් පරිසරය තුළ එහි වැදගත්කම පිළිබඳ අවධානය යොමු කරන ලදී.


   WTISD 2026 Special Messages and Newspaper Articles   
   ITU Secretary General's WTISD 2026 Message    

පුවත් සහ සිදුවීම්