ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), 2026 ඔක්තෝබර් මස 1 සහ 2 යන දිනවල කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ “ඩිජිටල් සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම: දකුණු ආසියාවේ ආරක්ෂිත හා ස්ථායීතාවයෙන් යුත් මුහුදු සංදාම කේබල් පද්ධති” (Promoting Digital Connectivity: Secure and Resilient Undersea Cables in South Asia) යන තේමාව යටතේ සංවිධානය කරන ලද කලාපීය වැඩමුළුවට සක්‍රීය ලෙස සහභාගී විය .
ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආරක්ෂිත, බාධාවන්ට ඔරොත්තු දිය හැකි සහ තිරසාර ලෙස මුහුදු සංදාම කේබල් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවන ලද ඕස්ට්‍රේලියානු රජයේ වැඩසටහනක් වන Cable Connectivity and Resilience Centre (CCRC) මඟින් මෙම කලාපීය වැඩමුළුව සංවිධානය කරන ලදී.ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා බංග්ලාදේශය, මාලදිවයින, මොරිෂස්, ඕමානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, විදුලි සංදේශ නියාමන ආයතනවල නියෝජිතයින්, සමුද්‍රීය අධිකාරීන්හි නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයින් සහභාගී වූහ.
TRCSL නියෝජනය කරමින් එහි අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා, බලපත්‍ර කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු බුද්ධික හේරත් මහතා සහ ජාල අධ්යක්ෂ ඉංජිනේරු එස්. ඊ. වාකිෂ්ට මහතා මෙම වැඩමුළුවට සහභාගී වූහ.
ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්යක්ෂ ජනරාල්වරයා, ඩිජිටල් පරිවර්තනයට පහසුකම් සැලසීම, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා මුහුදු සංදාම කේබල් යටිතල පහසුකම් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. ආර්ථිකයන් සහ සමාජයන් ඩිජිටල් සේවාවන් මත දිනෙන් දින වැඩි වශයෙන් රඳා පවතින පසුබිමක, මුහුදු සංදාම කේබල් ජාලවල ආරක්ෂාව, බාධාවන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහතික කිරීම උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් කරුණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මුහුදු සංදාම කේබල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ විශ්වාසදායක ජාත්‍යන්තර සම්බන්ධතාවක් සහතික කිරීම සඳහා රජයන්, නියාමන ආයතන, විදුලි සංදේශ සේවා ක්‍රියාකරුවන්, කේබල් හිමිකරුවන්, සමුද්‍රීය බලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.ගෝලීය වශයෙන් සිදුවන ජාත්‍යන්තර දත්ත හුවමාරුවෙන් අතිමහත් බහුතරයක් මුහුදු සංදාම කේබල් පද්ධති හරහා සිදුවන බැවින්, ඩිජිටල් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා එම කේබල් පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
TRCSL නියෝජනය කරමින් සිදු කළ වැදගත් ඉදිරිපත් කිරීමක් ලෙස, බලපත්‍ර කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු බුද්ධික හේරත් මහතා විසින් “ඉන්දියානු සාගරයේ සබ්මැරීන් කේබල් ජාලය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම: ඩිජිටල් සම්බන්ධතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ කලාපීය කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
මෙම ඉදිරිපත් කිරීමේදී, ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට හිමි සුවිශේෂී භූගෝලීය පිහිටීම සහ දකුණු ආසියාව, මැදපෙරදිග, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව එකිනෙක සම්බන්ධ කරන ප්‍රධාන ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග සහ මුහුදු සංදාම කේබල් මාර්ගවලට ශ්‍රී ලංකාව සමීපව පිහිටා තිබීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. එමෙන්ම, ජාත්‍යන්තර විදුලි සංදේශ යටිතල පහසුකම්වල ඔරොත්තු දීමේ හැකියාව සහ සම්බන්ධතා විවිධත්වය ශක්තිමත් කරන අතරතුර, ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් සම්බන්ධතා කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා මෙම උපායමාර්ගික පිහිටීම තුළින් උදා වන අවස්ථා ද විමසා බලන ලදී.
තවද, ඵලදායී ප්‍රතිපත්ති හා නියාමන පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම, බාධාවන්ට ඔරොත්තු දිය හැකි යටිතල පහසුකම් සංවර්ධනය, කේබල් පද්ධති ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේද, විධිමත් අවසර ලබා දීමේ ක්‍රියාවලීන්, ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කරුණු ද මෙම ඉදිරිපත් කිරීමේදී සාකච්ඡා කරන ලදී. අනාගත මුහුදු සංදාම කේබල් ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙන්ම, ආරක්ෂිත හා විශ්වාසදායක කලාපීය ඩිජිටල් සම්බන්ධතාවක් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දිය හැකි දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරවල වැදගත්කම එහිදී අවධාරණය කරන ලදී.
මෙම වැඩමුළුව මඟින් මුහුදු සංදාම කේබල් සම්බන්ධ ප්‍රතිපත්ති හා නියාමන ක්‍රමවේද, යටිතල පහසුකම් ආරක්ෂාව, සමුද්‍රීය අවකාශය සම්බන්ධ කරුණු, අවසර ලබා දීමේ හා බලපත්‍ර නිකුත් කිරීමේ රාමු, කේබල් අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම, අවදානම් කළමනාකරණය සහ ජාල පද්ධතිවල බාධාවන්ට ඔරොත්තු දීමේ හැකියාව යන ක්ෂේත්රවලට අදාළ දැනුම හා ජාත්‍යන්තරව පිළිගත් යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් සලසා දෙන ලදී.
මෙම කලාපීය වැඩමුළුවට ශ්‍රී ලංකාව එක්වීම මඟින්, ඩිජිටල් යටිතල පහසුකම්වල සහ ජාත්‍යන්තර සම්බන්ධතාවයේ වැඩිදියුණු වන උපායමාර්ගික වැදගත්කම හමුවේ, ඉන්දියානු සාගරය හා දකුණු ආසියානු කලාපය ආශ්රිත රටවල් අතර කලාපීය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව යළිත් තහවුරු විය.
මෙම වැඩමුළුව සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දීම තුළින්, ශ්‍රී ලංකාවේ සහ සමස්ත කලාපයේ ඩිජිටල් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආරක්ෂිත, විශ්වාසදායක, බාධාවන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සහ තිරසාර විදුලි සංදේශ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමටත් තමන් දක්වන කැපවීම ශ්‍රී ලංකා විදුලිසන්දේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) නැවතත් අවධාරණය කළේය.