ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




“තනි කවුළුව”(Single Window) සංකල්පය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ රැස්වීම .........

11 11 2025 - 15:30 PM

ගමට සන්නිවේදනය (GSP) ව්‍යාපෘතියට අදාළ අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා “තනි කවුළුව”(Single Window) සංකල්පය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ රැස්වීම

2025 නොවැම්බර් මස 10 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), කොළඹ

“තනි කවුළුව (Single Window) සංකල්පය” යටතේ අනුමත කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම හා වේගවත් කිරීම සඳහා වූ අනාගත සැලසුම් පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ (Stakeholders) රැස්වීමක් 2025 නොවැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා (TRCSL) ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

“ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය (GSP) යනු රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයට සහාය වෙමින්, සියළු පුරවැසියන්ට විදුලි සංදේශ සේවාවන් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීම පිණිස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වන අතර, එමඟින්, ආවරණ පහසුකම් නොමැති සහ අඩු ආවරණ පහසුකම් සහිත ප්‍රදේශයන් සඳහා 4G/බ්‍රෝඩ්බෑන්ඩ් ජාල සම්බන්ධතාවයන් පුළුල් කිරීම උදෙසා දායකත්වය ලබා දේ.

මෙම රැස්වීම සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතා (ඉංජිනේරු), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ක්‍රියාකාරී ලේකම්වරයා වන වරුණ ශ්‍රී ධනපාල මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා (විශ්‍රාමික)  ඇතුළුව විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් රැස් විය.

මෙම ආයතන අතර නාගරික සංවර්ධන අධිකාරිය (UDA), මධ්‍යම පරිසර අධිකාරිය (CEA), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (CEB), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන බොහොමයක් පැමිණියහ. එමෙන්ම දුරකතන සේවා දායක සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීවරුන් සහ පරිපාලන නිලධාරීවරුන් ද විශේෂ ආරාධනයකට ලක් ව තිබුනි.

අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාම) මහතාගේ පිළිගැනීමේ කථාවෙන් රැස්වීම ආරම්භ වූ අතර, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතා (ඉංජිනේරු) විසින් ආරම්භක කතාව සිදු කරන ලදී. ආර්ථික අමාත්‍යාංශයේ ක්‍රියාකාරී ලේකම්, වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් රජයේ ඩිජිටල් පද්ධතිය සහ අධි ව්‍යුහ සංවර්ධන දැක්ම පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරන ලදි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) විශේෂ ව්‍යාපෘති අංශයෙහි අධ්‍යක්ෂ, නිෂාන්ත පලිහවඩන මහතා විසින් “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතියෙහි(GSP) පවතින ජාතික ඩිජිටල් ඉලක්ක සපුරාලීමේ කාර්යය පිළිබඳ ව පැහැදිලි කළේය.

ඩයලොග් ආසියාටා පී එල් සී (Dialog Axiata PLC) හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී,  සුපුන් වීරසිංහ මහතා විසින් වත්මන් අනුමත ක්‍රියාවලියේ ගැටලු සහ අභියෝග  මෙන්ම තනි කවුළු (Single Window) ක්‍රමය හරහා එම ගැටළු සඳහා විසඳුම් සොයා ගැනීම උදෙසා වන යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරන ලදි.

ඉන් පසුව පැවති විවෘත සංවාදයේ දී, විවිධ ආයතන නියෝජිතයන් එක්ව අනුමත ක්‍රියාවලිය වේගවත් කිරීමේ සහයෝගී ක්‍රියාමාර්ග පිළිබඳව විමර්ශන ආකාරයෙන් අදහස් හුවමාරු කර, “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතියට (GSP) ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වීම තවදුරටත් වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකඟතාවය පළ කරන ලදී.
 

පුවත් සහ සිදුවීම්